පි. තුරුලිය නිසලයි - වැව් දිය සසලයි
තනිකම ඉවුරු බිඳියි
මග අතරමංව හිඳිමි
ඔබ කොහිද කොහිද සොයමි
ගැ. ඔබ ළඟම ළඟම හිඳිමි
ගැ. සසර පුරා සුවඳ සරා
ඔබම ළඟම රැඳෙමි
ඔබ කොහිද කොහිද සොයමි
පි. ඔබේ සුසුම් සුවඳින් පෑරී
වෙල් ඉපනැල්ලේ පවන් සළයි
ගංදොර සුහුඹුල් මතකය වැළපී
සිත මා තෙමා වැටෙයි
ඔබ කොහිද කොහිද සොයමි
පි. ඔබේ සුරත් පහසින් ගිලිහී
ලියගොමු ලන්දේ සොවින් සැළෙයි
තණපත් මුතුපිණි කඳුළින් බරවී
ඔබ පා පහස පතයි
ඔබ කොහිද කොහිද සොයමි
ගැ. ඔබ ළඟම ළඟම රැඳෙමි
සංගීතය - ශාන්ත ජයලත් තිසේරා
ගායනය - ඉමාන් පෙරේරා, උරේෂා රවිහාරි
හදවතින්ම ආදරය කරන කෙනෙක් වෙන් වුනොත්... නැත්නම් මිය ගියොත්... දැනෙන වේදනාව... වචනවලට පෙරළන්න පුළුවන්ද.... බැහැ... මුළු ලෝකයම හිටියත් වැඩක් තියේද... ඇය... ඔහු නැති ජීවිතය... තනිකම පාලුව ඉවසන්න බැහැ....
තුරුලිය නිසලයි වැව්දිය සසලයි
තනිකම ඉවුරු බිඳියි
මම අතරමංව හිඳිමි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබ ළඟම ළඟම හිඳිමි....
ඇය ඔහු හැරදා ගිහින්... ඒ දුක කොතරම්ද... ගහකොළ පවා නොසෙල්වී හඬා වැටෙනවා... වෙනදා නිසලව ගලාබස්‌නා වැව් දිය.... ඈ නැති දුකින් සසල වෙලා.... ඔහු අද අතරමං වෙලා.... හැම තැනම ඇයව හොයනවා.... ඈ වෙන්ව ගියද ඇයටත් ඔහු නැතිව බැහැ.... ඇයගේ ආත්මය ඔහු ළඟටම වෙලා....
මේ ගැමි පරිසරයක තරුණයෙක් වෙන්ව ගිය පෙම්වතිය පිළිබඳ ස්‌මරණය කරන ගීයක්.... ටෙලි නාට්‍යයක ගීයක්... "අහස සේ නුඹ අනන්තයි..." ඒ කතාවට අනුව නම් පෙම්වතිය මිය ගිහින්...
"මංජුලා කුමාරිත්, ටෙලි නාට්‍යයේ අධ්‍යක්‌ෂ පුෂ්පකුමාරත් මට කිව්වා විරහව, තනිකම, පාළුව විඳින පෙම්වතෙක් අතීතය ස්‌මරණය කරන ආකාරයේ ගීයක් ලියන්න කියලා... එය අහිමි වූ ප්‍රේමයක්... ගැමි පරිසරයත්.... සොබා සුන්දරත්වය සමඟ මුසු වූ විරහ ගීයක්...." ගීයේ පදරචකයා කුලරත්න ආරියවංශ පැවැසුවා.
සසර පුරා සුවඳ සරා
ඔබම ළඟම රැඳෙමි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබෙ සුසුම් සුවඳින් පෑරී
වෙල් ඉපනැල්ලේ පවන් සලයි
ගංදොර සුහුඹුල් මතකය වැළපී
සිත මා තෙමා වැටෙයි
ඔබ කොහිද කොහිද සොයමී....
ඔහු ගමේ ඇවිද යනවා... ඈ සමඟ වෙල් ඉපනැල්ලේ, ගංතෙර හමුවී ආදර බස් මිමිණූ හැටි ඔහුගේ මතකයට නැගෙනවා.... ඇගේ සුසුම් සුවඳට වෙල් ඉපනැල්ල හමා එන පවනට මුසුවෙලා....
No comments:
Post a Comment